ගුරුවරුන්ට අපි හැමෝම සලකන්නේ අපේම දෙමාපියන්ට වගේ. අපිට උගන්නපු ගුරුවරු වගේම අනිත් හැම ගුරුවරයෙකුටමත් අපි ගරු කරනවා. ඒත් ගුරු සේවයේ යෙදී ඉන්න සමහර ගුරුවරුන්ගේ වැඩ නිසාම මේ ගුරු ගෞරවය නැති වෙලා යන එක නම් හරිම දුක්බර කාරණාවක්.
මට මෙහෙම හිතුනේ අපේ දහම් පාසලේ ගුරු මණ්ඩලයේ ඉන්න එක් ගුරුවරියක් නිසා. ඇය දහම් පාසලේ මෙන්ම රජයේ පාඨශාලාවකත් අවුරුදු 20ක විතර සේවය සම්පූර්ණ කරපු ගුරුවරියක්. මේ ගුරුතුමිය නිතරම කතා කරන්නේ තමන් උසස් කර ගනිමින්. ඒ විතරක් නෙමෙයි දහම් පාසලේ ගුරු මණ්ඩලයේ රැස්වීම් වලදී නිතරම තමන්ගේ රජයේ ගුරු වෘත්තිය උසස් කර දක්වමින් තමයි කතා කරන්නේ. ඇය කියන විදියට නං අනිත් හැමෝටම වඩා දහම් පාසලේ උගන්නන්න සුදුසුකම් තියෙන්නේ රජයේ පාසල්වල ගුරුවරුන්ටලු. අනිත් "නූගත්" අය උගන්නන්න ආවාම දහම්පාසලේ කොලිටි එක බහිනවලු. මුල් කතාව එක අතකින් ඇත්ත වෙන්නත් පුලුවන්, මොකද ඔවුන්ට ලැබෙන පුහුණුව හා අත්දැකීම් අනිත් අයට ලැබෙන්නේ නැති නිසා. ඒත් නිතරම මේ කතාව කියමින් උදම් ඇනීම නිසා අනිත් අය නම් ඇය ගැන ඉන්නේ ලොකු කලකිරීමකින්. ඇය හැරෙන්නට තවත් රජයේ ගුරුවරුන් දෙදෙනෙක් අපේ දහම් පාසලේ ගුරු මණ්ඩලයේ ඉන්නවා. නමුත් ඒ අය මේ ආකාරයට තමන් පමණක් සුදුස්සන් කියලා කියන්නේ නෑ.
උගන්නන්න පුහුණුව හා උගත්කම අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ තමයි. ඒත් දහම් පාසලක් කියන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා දහම් දැනුම අනිත් අයට බෙදාදෙන්න දරණ උත්සාහයක්නේ. එතනදි මේ වගේ කතාවක් කියන එක අසාධාරණයි නේද? අපිටත් පොඩි කාලේ දහම් පාසලේ උගන්නපු හැමෝම රජයේ ගුරුවරු නෙමෙයි නේද? ගමේ පුලු පුලුවන් උදවිය විවේක වෙලාව මේකට කැප කරලා එන්නෙත් කාටහරි සේවයක් කරන්න තියෙන ආසාව නිසා.
මේ ආකාරයේ ගුරුවරු කීපදෙනෙක්ම මට හමුවෙලා තියෙනවා, පාසලේදී පවා. අපිට ඒ කාලේ උගන්නපු නිහතමානී හොඳ ගුරුවරුන්ට අපි තවමත් ආදරෙයි. මේ වගේ කීපදෙනෙක් නිසා සමස්ත සිසු පරපුරේම ගුරු ගෞරවයට හානි වෙනවා කියලා මට හිතෙනවා. දැන් ඉන්න සිසු පරපුරේ ගුරු ගෞරවය ඉස්සරට වඩා අඩු වෙලා කියලා දැනෙන්නේ මේ වගේ දේවල් නිසාද?