දඟ වැඩක් කලෝතින් විටෙක හුරතල් වෙලා...
ඔබ හිඳී සිනහවෙන් දඟකාර ඉවසලා...

බැන වදින විටෙකදි තරහවක් සිත් දරා...
ඔබ හිඳී මහමෙරක් ලෙසින් එය ඉවසලා...

කඳුලු හෙලනා විටෙක සිත් පැතුම් බොඳ වෙලා...
ඔබ හිඳී සවිය වී කඳුලු පිස සනසලා...

සැප මෙන්ම දුකෙදීත් මා දිවිය ඇති තුරා...
ඔබ හිඳී මා ලඟින් මා සුරත අත දරා...

සත්තකයි ඔබ මගෙ ජීවිතය සම වෙලා...
මගේ පුංචි ලොකයේ ඔබ මගෙ ඉර වෙලා...


මේකත් දහම් පාසලේ සිද්ධියක්. එකොලහ වසර පන්තියට ගිය අවුරුද්දෙ මැදදි අලුතෙන් ගෑනු ලමයෙක් ඇතුල් උනා. එයාල ගමටත් අලුත්. අලුතෙන් ආපු නිසත් ටිකක් ඇහට කනට පේන නිසත් පන්තියෙ පිරිමි ලමයි පවා මේ ලමයා ගැන දැක්වුවෙ ලොකු උනන්දුවක්. මේ  ලමයා හරිම අහින්සකයි. වැඩිය කතා බහකුත් නෑ.

කොහොමින් කොහොම හරි මේ ලමයා දහම් පාසල් අන්තිම විබාගෙට ආවෙ නැහැ. විබාගෙ දාට කම්මැලිකමට කට් කරන ලමයි වර්ගෙකුත්  ඉන්න නිසා ඊලඟ දවසෙ හම්බුන ගමන් මම ටිකක් සරෙන් අහුව විබාගෙට නාවෙ ඇයි කියල. මේ  ලමය ඇස් වල කඳුලු පුරවගෙන කියපු කතාව අහල මට දරාගන්න බැරි දුකක් ඇති උනා. ඒ ලමය කියනව "අක්කෙ අපෙ අම්මට බබා හම්බෙන්න විබාගෙට කලින් දවසෙ ඉස්පිරිතාලෙ ගෙනිච්ච. නංගිල දෙන්නවත් බලාගෙන ගෙදර ඉන්න උනා" කියලා. මේ සිදුවීම හින්දම මම ඒ ලමයා ගැන ඉන් ඉදිරියට විශේෂ උනන්දුවක් දැක්වුවා.

මේ ලමයගෙ තාත්තා දුර බැහරක රැකියවක් කරන කෙනෙක්. පවුලෙ තවත් පුංචි නංගිලා දෙන්නෙක්. අම්මට තවත් පුංචි මල්ලියෙක් ලැබිල තිබුනා. එක නංගි කෙනෙකුට ශ්‍රව්‍යාබාධයක් වගේම කතා කිරීමේ ආබාධයකුත් තියෙනවා. ඒ නංගිගේ හැම වැඩක්ම කරන්නේ මේ ලමයලු. ලඟ ලඟ විබාගයක් (සාමාන්‍ය පෙල) තියා ගෙන මෙ ලමයා ප්‍රශ්න වල හිර වෙල ඉන්න හැටි දැක්කම මට හිතුනෙ අපිට තියෙන එව්වත් ප්‍රශ්නද කියලයි. පුලුවන් උපරිමෙන් මම එයාව ධෛර්යමත් කලා. දෙසැම්බර් මාසෙ දහම් පාසල් නිවාඩු දුන්නට පස්සෙ මට එයා මුන ගැහුනේ නැහැ. OL විබාගය සාර්ථකව කරගන්න පුලුවන් වෙන්න කියලා මම නිතරම ප්‍රාර්තනා කලා.

ඒත් සිදු වෙලා තිබුනෙ හරිම දුක්බර දෙයක්. විබාගෙට දවස් 4ට කලින් පුංචි මල්ලිය ලෙඩ වෙලා තිබුනා. එයගෙ ඇඟට විෂබීජයක් ගිහින් කියලා තමයි දොස්තරලා කියලා තිබුනෙ. අම්මා පුංචි මල්ලි එක්ක ඉස්පිරිතාලෙ නවතිනකොට ගෙදර හැම වගකීමක්ම කරට ගන්න වෙලා තිබුනෙ මේ දරුවටයි. අන්තිමේදි විබාගය කරගන්න හැකියවක් ලැබිලා නැහැ. පස්සෙ දවසක හමු වෙලා එයා මට කියනවා "අක්කෙ මම ඉගෙන ගන්න ආසයි. කවදහරි හොඳ රස්සවක් කරන්න ආසයි. එත් ඇයි මටම මේ වගේ දෙයක් උනේ?" කියලා. මම ඒ ප්‍රශ්නෙට තවමත් උත්තර හොයනවා.

දෙමවුපියො දරුවො හදනවා වගේම එයාලව රැක බලා ගන්නත්, එයාලට හොඳ අධ්‍යාපනයක් දෙන්නත් බැඳිල ඉන්නවා. පවුලට දරුවන් එකතු කර ගන්න කලින් පවුලෙ ආර්ථික තත්ත්වය, පවුලෙ අනිත් දරුවන්ගෙ අනාගතේ ගැන හිතනවනම් මේ වගෙ අසරණ දරුවො බිහි වෙන එකක් නැහැ. පුංචි කාලෙ ඉඳන්ම මේ වගේ තමන්ට දරාගන්න බැරි වගකීම් ගොඩක පැටලිල ඉන්න අහිංසක දරුවො කී දාහක් නම් ලංකාවෙ ඇත්ද? කවදහරි ඒ දරුවො තමන්ගෙ අනාගතේ අඳුරු කරපු දෙමවුපියන්ට චෝදනා නොකර ඉඳීවිද?





ගුරුවරුන්ට අපි හැමෝම සලකන්නේ අපේම දෙමාපියන්ට වගේ. අපිට උගන්නපු ගුරුවරු වගේම අනිත් හැම ගුරුවරයෙකුටමත් අපි ගරු කරනවා. ඒත් ගුරු සේවයේ යෙදී ඉන්න සමහර ගුරුවරුන්ගේ වැඩ නිසාම මේ ගුරු ගෞරවය නැති වෙලා යන එක නම් හරිම දුක්බර කාරණාවක්.

මට මෙහෙම හිතුනේ අපේ දහම් පාසලේ ගුරු මණ්ඩලයේ ඉන්න එක් ගුරුවරියක් නිසා. ඇය දහම් පාසලේ මෙන්ම රජයේ පාඨශාලාවකත් අවුරුදු 20ක විතර සේවය සම්පූර්ණ කරපු ගුරුවරියක්. මේ ගුරුතුමිය නිතරම කතා කරන්නේ තමන් උසස් කර ගනිමින්. ඒ විතරක් නෙමෙයි දහම් පාසලේ ගුරු මණ්ඩලයේ රැස්වීම් වලදී නිතරම තමන්ගේ රජයේ ගුරු වෘත්තිය උසස් කර දක්වමින් තමයි කතා කරන්නේ. ඇය කියන විදියට නං අනිත් හැමෝටම වඩා දහම් පාසලේ උගන්නන්න සුදුසුකම් තියෙන්නේ රජයේ පාසල්වල ගුරුවරුන්ටලු. අනිත් "නූගත්" අය උගන්නන්න ආවාම දහම්පාසලේ කොලිටි එක බහිනවලු. මුල් කතාව එක අතකින් ඇත්ත වෙන්නත් පුලුවන්, මොකද ඔවුන්ට ලැබෙන පුහුණුව හා අත්දැකීම් අනිත් අයට ලැබෙන්නේ නැති නිසා. ඒත් නිතරම මේ කතාව කියමින් උදම් ඇනීම නිසා අනිත් අය නම් ඇය ගැන ඉන්නේ ලොකු කලකිරීමකින්. ඇය හැරෙන්නට තවත් රජයේ ගුරුවරුන් දෙදෙනෙක් අපේ දහම් පාසලේ ගුරු මණ්ඩලයේ ඉන්නවා. නමුත් ඒ අය මේ ආකාරයට තමන් පමණක් සුදුස්සන් කියලා කියන්නේ නෑ.

උගන්නන්න පුහුණුව හා උගත්කම අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ තමයි. ඒත් දහම් පාසලක් කියන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා දහම් දැනුම අනිත් අයට බෙදාදෙන්න දරණ උත්සාහයක්නේ. එතනදි මේ වගේ කතාවක් කියන එක අසාධාරණයි නේද? අපිටත් පොඩි කාලේ දහම් පාසලේ උගන්නපු හැමෝම රජයේ ගුරුවරු නෙමෙයි නේද?  ගමේ පුලු පුලුවන් උදවිය විවේක වෙලාව මේකට කැප කරලා එන්නෙත් කාටහරි සේවයක් කරන්න තියෙන ආසාව නිසා.

මේ ආකාරයේ ගුරුවරු කීපදෙනෙක්ම මට හමුවෙලා තියෙනවා, පාසලේදී පවා. අපිට ඒ කාලේ උගන්නපු නිහතමානී හොඳ ගුරුවරුන්ට අපි තවමත් ආදරෙයි. මේ වගේ කීපදෙනෙක් නිසා සමස්ත සිසු පරපුරේම ගුරු ගෞරවයට හානි වෙනවා කියලා මට හිතෙනවා. දැන් ඉන්න සිසු පරපුරේ ගුරු ගෞරවය ඉස්සරට වඩා අඩු වෙලා කියලා දැනෙන්නේ මේ වගේ දේවල් නිසාද?


මම අනුෂ්කා කුරේ. මේ වෙනකොට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ තෙවන වසර අධ්‍යයන කටයුතු කරමින් ඉන්නවා.

සිංහල බ්ලොග් එකක් ලියන්න ආසාවක් හිතේ හුඟ කාලෙක ඉඳන් තිබුනත් ඕවා කරන්න වෙලාවක් නැහැ කියන සිතුවිල්ල නිසාම ඒ ආසාව එහෙමම වැලලිලයි තිබුනේ. ඒත් මම පුලුවන් හැම වෙලාවේම සිංහල බ්ලොග් කියවන්න අමතක කරන්නේ නැහැ. අන්තිමේදී ඉන්දරේ හැමදාමත් බ්ලොග් එකක් ලියමු ලියමු කියලා වද කරන නිසාම, ලියලා බලනවා කියලා හිතුන නිසාම "අනූගේ සටහන්" කියන නමින් මගේම බ්ලොග් එකක් පටන් ගත්තා.

ඉදිරියට මගේ අදහස්, මගේ අත්දැකීම් වගේ ගොඩක් දේවල් අනූගේ සටහන් තුලින් හැමෝටම කියන්නයි සූදානම. ඒවා කියවලා රසවිඳින්න, විවේචනය කරන්න වගේම බ්ලොග්කරණයට ආධුනික මගේ අඩුපාඩු පෙන්වලා දෙන්නත් මම හැමෝටම ආරාධනා කරනවා.